about 2 years ago by Manthri.lk Research Team under in විශ්ලේෂණ

2022 පෙබරවාරි 08 වන දින, නිවැරදි පුනර්ජනනීය බලශක්ති සැලැස්මක් පිළිබඳව කල් තැබීමේ යෝජනාවක් පැවැත් වුණා. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පා.ම. නිමල් පියතිස්ස විසිනි. මෙහිදී ඔහු,

"අද වන විට කොවිඩ් තත්ත්වය නිසා ඇති වී තිබෙන ආර්ථිකමය පීඩනයන් විවිධ ක්ෂේත්‍ර වෙත යොමුවෙන බව පෙනෙන්න තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රය ඉන් ප්‍රධාන වෙනවා. ශ්‍රී ලංකාව වාගේ තවමත් ඉන්ධන ආනයනය කරමින් කටයුතු කරන රටක්, විදුලි බලය නිපදවීම සඳහා මෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන යොදා ගැනීම රටේ විදේශ විනිමය අර්බුදය තීව්‍ර බවට පත් කරවන්නක්. මේ හේතුවෙන් අපේ ශක්තීන් මත පදනම් වූ පුනර්ජනනීය බලශක්ති සැලසුමක් ඇති කළ යුතු වෙනවා. ... ඒ සඳහා යම් නීතිමය සංශෝධන හෝ නව නීති අවශ්‍ය නම් එම සංශෝධන / නව නීති කෙටුම්පත්, කඩිනමින් මෙම සභාවට ඉදිරිපත් කරන ලෙසත්” යෝජනා කළා.

වැඩි දුරටත් ඔහු, “හැබැයි හිරු එළිය පාවිච්චි කරලා, හිරු එළිය උපයෝගි කරගෙන විදුලිය නිපදවන, එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තිය නිපදවන රටවල් ඕනෑ තරම් තිබෙනවා. අපේ අසැල්වැසි රාජ්‍යය වන ඉන්දියාව ගත්තත්, අද ඒ රට බලශක්තිය අතින් බලගතු කටයුත්තක, බලගතු ක්‍රියාවලියක නිරතව ඉන්නවා. දිනකට පැය 12ක් හිරු රශ්මිය නැති රටවල් පවා එසේ කටයුතු කරනවා. අපේ රටේ සුළඟ තිබෙනවා, හිරු එළිය තිබෙනවා, උදම් රළ තිබෙනවා, භූ තාපය තිබෙනවා. මේ සියලු දේවල් තිබුණා වුණත් අපේ රටින් විශාල ඩොලර් ප්‍රමාණයක් එළියට යන එක වැළැක්වීම සඳහා ස්වභාවිකව අපට ලැබෙන මේ සම්පත් පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට උපයෝගි කර නොගන්නේ ඇයි කියන ගැටලුව අපට තිබෙනවා.” ලෙසින් අවධාරණය කළා.

යෝජනාව ස්ථිර කළ පා.ම. ප්‍රේම්නාත් සී. දොලවත්ත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

“අපට ඇසුණා මේ කියන නව පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ඉල්ලුම් පත්‍ර අටසිය හැත්තෑ ගණනක් ලැබී තිබෙනවා කියලා. හැබැයි ඒ කටයුතු මහ පොළොවේ ක්‍රියාත්මක වී නැහැ. ඒවා කොහේ හෝ තැනක හිර වෙලා තිබෙනවා. … ඒ වරද නිවැරැදි කරන්න අවශ්‍ය නම් එයට නීති අණ පනත් සකස් කරන්න ව්‍යාවස්ථාදායකය තුළ අපට තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් තිබෙනවා; අවශ්‍ය බලය තිබෙනවා. ඒ නිසා එය කිරීමට අපට හැකියාව තිබෙන්න ඕනෑ.”

ඊට පසු පා.ම. චමින්ද විජේසිරි මෙම කල් තැබීමේ යෝජනාවට අදහස් එක් කළේ මේ ආකාරයට.

“මේ වැදගත් කාරණය හැමදාම මතු වෙන්නේ මෙවන් වූ විදුලි අර්බුදයක් නිර්මාණය වන වකවානුවල විතරයි. ඒ වෙලාවට බලයේ සිටින ආණ්ඩුවෙන් මෙවැනි යෝජනා එනවා; ඒ ගැන අදහස් ඉදිරිපත් වෙනවා. ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ, එතුමන්ලාගේ "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන යෝජනා මහ පොළොවේ ක්‍රියාත්මක විය යුතුයි. ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක නොවුණා කියන කාරණය තමයි අපටත් කියන්න තිබෙන්නේ.”

“පසුපෙළ මන්ත්‍රීවරු ඇවිල්ලා තමන්ගේ ඡන්දවලට -මනාපවලට- වටිනාකමක් දෙමින් තමන් දකින හරි දේ -නිවැරදි දේ- සිද්ධ විය යුතුයි කියන යෝජනාව සද්භාවයෙන් කරනවා. යහපාලනය ආණ්ඩුව තුල අපිත් ඒක කළා. හැබැයි ඉහළ ඉන්න නායකත්වය මොකද්ද කරන්නේ? ඒ අය විදුලිය පෞද්ගලික ආයතනවලින් ලබා ගැනීම සඳහා ඉතාම ආසාවෙන් කටයුතු කරනවා. අපි දන්නවා, මේ වෙලාවේ "ඒස් පවර්" කියන පෞද්ගලික ආයතනයෙන් විදුලිය මිල දී ගන්නේ වැඩි මිලට බව. … දැන් ඒස් පවර් ආයතනය කරන්නේ මොකක්ද? IOC එකෙන් ඩීසල් අරගෙන රජය වෙනුවෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. රජය ඒ විදුලිය මිලදී ගන්නවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ගන්න පුළුවන්කම තිබියදී ගන්නේ නැත්තේ ඇයි?”

තවද, “ඔබතුමන්ලා යෝජනා කරන සූර්ය බල වැඩ පිළිවෙලක් මේ වනකොට ක්‍රියාත්මක වෙනවා. මම දන්නවා  පෞද්ගලික ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බව. ඒවාට විශාල බාධා තිබෙනවා. ඒවාට බාධා කරන්නේ කවුද?” ලෙසත් ප්‍රශ්න නැඟුවා.

පා.ම, වසන්ත යාපා බණ්ඩාර මීළඟට මෙම යෝජනාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අතපසුවීම් සම්බන්ධ කරුණු ගෙන හැර පෑවා.

“(මේ) ඉදිරිපත් කළ යෝජනාවෙන් මතු කළ කාරණය මහනුවර දිස්ත්‍රික්කයේ උඩගල, දෙබොක්ක, ගලමුදුන, මැදකැලේ කියන හුදෙකලා ගම්මානවලටත් අදාළයි කියලා මා විශ්වාස කරනවා. … මොකද සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා එම ප්‍රදේශවලට විදුලිය ලබා දීමට යෝජනා කර තිබෙන වැඩ පිළිවෙළේ කිසියම් ප්‍රමාදයක් තිබෙන බව මා ඔබතුමාට පවසන්න ඕනෑ. … මීමුරේ කියන ප්‍රදේශයට ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය ලබා දීමට පසුගිය කාලයේ අපේ රජය කටයුතු කළා. ඒ නිසා ඒ ප්‍රදේශයට තිබුණු සුනිත්‍ය බලශක්තියේ, එසේ නැත්නම් කුඩා පරිමාණ ජල විදුලි බලාගාරවල අවශ්‍යතාව ඉවත් වෙලා ගියා. නමුත් මේ වෙනකොට මීමුරේ කයිකාවල විදුලි පාරිභෝගික සමිතියත්, මීමුරේ තිබෙන පුස්සැල්ල විදුලි පාරිභෝගික සමිතියත් අක්‍රීය වෙලා තිබෙනවා.”

යුනිඩෝ ව්‍යාපෘතියේ අක්‍රීයතාවය පිළිබඳවත් ඔහු කරුණු ඉදිරිපත් කළා.

“ගරු රාජ්‍ය ඇමතිතුමනි, ඔබතුමා දන්නවා ඇති ලෝක බැංකු ආධාර යටතේ යුනිඩෝ ව්‍යාපෘතිය හරහා මේ කියන උඩුදුම්බර ප්‍රදේශයේම කිලෝවොට් 50ක ධාරිතාවක් ඇති විදුලි බලාගාරයක් හදලා තිබෙන බව. මම දන්නා විධියට ඒ සඳහා ජලය පාවිච්චි කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී නැහැ. ඒ වගේම බලශක්තිය සඳහා අවශ්‍ය බලපත්‍ර ලැබී නැහැ. මෙම යුනිඩෝ ව්‍යාපෘතිය අද වෙනකොට අක්‍රීය තත්වයේ පවතින්නේ.”

පා.ම. සමන්ප්‍රිය හේරත් මෙලෙස ප්‍රකාශ කළා.  "විශේෂයෙන්ම ගල් අඟුරු වාගේ දේවල් අද ලෝකයේ ක්ෂය වෙලා යන සම්පත් බවට පත් වෙලා තිබෙනවා. අපි අද ඉන්ධන ගැන කථා කරනවා. නමුත්, මම හිතන විධියට අපට තව අවුරුදු 50කට වැඩි කාලයක් ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැහැ… ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා පුංචිම පුංචි මනුස්සයාට තමයි ඇත්තටම මේ සහන දෙන්න ඕනෑ. අද සාමන්‍යයෙන් solar panels කිහිපයක් සවි කරගන්න ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් යනවා. ඒකට ණය ගන්න ගියොත් ඒ මනුස්සයට ඒ ණය ගන්න බැහැ."

සුර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානයක, මෙලෙස මෙම යෝජානවේ ඉදිරිපත් වුණු ප්‍රශ්ණ වලට උත්තර බැන්ඳා.

"අපි මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා, දුප්පත් පවුල් ලක්ෂයක නිවාසවල වහල මත සූර්ය කෝෂ සවි කරලා ඒ අයට මාසිකව රුපියල් 2500ක ආදායමක් දීලා අවුරුදු දහයකින් පස්සේ ඒ අයට ඒ සම්පූර්ණ ආදායම ලැබෙන විදියට කටයුතු කරන්න."

“2007දී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හැදුණාට, ඒ අධිකාරියට තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒක, මහ රූස්ස ගහක් යට පුංචි පැළ වලට හැදෙන්න ඉඩක් නැහැ වාගේ තමයි. මේ අධිකාරිය නිර්මාණය වෙන්නේත් one-stop shop එකක් විධියට. පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් එක මේසයක ආයතන 15ක්, 25ක් වාඩි වෙලා. එක දවසේ අනුමැතිය ලබා දීලා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමයි ඒ තරම් බල සම්පන්න පනතකින් තමයි මේ අධිකාරිය නිර්මාණය වුණේ. හැබැයි පහුගිය කාලය පුරාවටම ස්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට සිද්ධ වුණා, තවත් එක් ආයතනයක් විදියට පමණක් හැසිරෙන්න. හැබැයි මේ වෙනකොට අපි ඒ සියලු රෙගුලාසි වෙනස් කරලා, ... වෙනම අමාත්‍යංශයක් යටතට පත් කරපු නිසා අද අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තිබෙන බාධා ටික ඉවත් කරන්න.”