about 1 month ago by Parliament Research Team under in Analysis

ජනපතිවරණය අත ළඟ ය. ජයග්‍රාහකයා මේ යැයි කියන විවිධාකාරයේ සමීක්ෂණයන්වල ප්‍රතිඵල ද, සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් ඇත. මේ කතාව මෙවන් සමීක්ෂණයන් ගැන ය. මේවායේ විශ්වසනීයත්වය ගැන ය. එහිලා, මෙම ලිපියේ ඉදිරිය වෙන්වෙන්නේ සමීක්ෂණයකින් කියන ප්‍රතිඵල ගැන විශ්වාසයක් තබන්නට නම් එහි සඳහන් විය යුතුවම ඇති කරුණු හතරක් ගැන ඔබගේ අවධානය යොමු කරන්නට ය. මෙම කරුණු ගැන කිසිම සඳහනක් සමීක්ෂණයේ නැතිනම් එය බෙදා ගැනීමට පෙර දෙවරක් සිතා බැලීම මනා ය. 

පළමුවැන්න - සාම්පලය තෝරාගෙන තිබෙණ ආකාරය. එය තෝරාගෙන තිබෙන්නේ මුළු රටම නියෝජනය වන අයුරින් ද? 

ශ්‍රී ලංකාව පදනමේ කරන සමීක්ෂණ සැළකීමේ දී, දැනගත යුතු ප්‍රධානම කරුණ වන්නේ මෙය යි. සාම්පලයක් තෝරාගැනීමට කෙටි මාර්ග රැසක් තිබීම එයට හේතුව යි. සමීක්ෂණයට පදනම් කරගෙන ඇති සාම්පලය තෝරාගෙන ඇත්තේ සසම්භාවීව (random) නම් එවන් සමීක්ෂණයක් ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකි ය. සසම්භාවීව සාම්පලය තෝරාගැනීමේ දී, සමීක්ෂණයට අදාළවන රටේ සියලුමදෙනාට එයට ප්‍රතිචාර දැක්වීමට සමාන අවස්ථාවක් ලැබෙණ ආකාරයේ සාම්පලයක් තෝරාගැනීමට හැකියාව ඇත. උදාහරණයකට - ඔන්ලයින් මාධ්‍යයෙන් කරන සමීක්ෂණයක මෙම ලක්ෂණය නැත. එතැන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකි පුද්ගලයින් කොට්ඨාසයක් සැළකිල්ලට ගැනෙණ වෙනම සැළකීමකි. 

දෙවැන්න - දෝශ සම්භාවිතාවය සහ සාම්පලයේ ප්‍රමාණය මොකක් ද? 

සමීක්ෂණයක් යනු සංගනණයක් නොවේ. එනිසාම සමීක්ෂණයක සෑම විටම ගණිතමය වශයෙන් ඇස්තමේන්තු කළ හැකි ආන්තික දෝශයක් පවතී. විශ්වාසය තැබිය හැකි සමීක්ෂණයක් නම් සෑම අවස්ථාවකම දෝශ සම්භාවිතාවයට අදාළව ඉලක්කම් දෙකක් වාර්තා කරයි. පළමුවැන්න නම් ආන්තික දෝශය යි. විශ්වාස මට්ටම, දෙවැන්න යි. වෙරිටේ රිසර්ච් මෑතක දී, සිදුකරන ලද සමීක්ෂණයක ආන්තික දෝශය ±-3% අගයකත් විශ්වාස මට්ටම 95%ක අගයකත් පැවතිණ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30%ක් ‘ඔව්’ යැයි යම් ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ නම් ජනගහණයෙන් 27-33% (±-3%) ප්‍රතිශතයක් එම ප්‍රතිචාරයම ලබාදෙනු ඇති බවට 95%ක විශ්වාසයක් තබාගත හැක යන්න එහි අදහස වේ. ±-5%ක ආන්තික දෝශයක් පවත්වා ගන්නා මැතිවරණ සමීක්ෂණ ද, ඇත. එවන් අවස්ථාවක විශ්වාසය මට්ටම 95%කට වඩා අඩු මට්ටමක නොපවතින බව පරීක්ෂා කර දැනගත යුතු ය. 

සාම්පලයේ ප්‍රමාණය ගත් විට, මුළු රටම නියෝජනය වන අයුරින් සසම්භාවීව තෝරාගත් සාම්පලයක් ඇසුරේ ±-3% ආන්තික දෝශයක් 95%ක විශ්වාස මට්ටමක් පවත්වාගැනීමට නම් සාම්පලයේ ප්‍රමාණය අවම වශයෙන් පුද්ගලයින් 1000කට මදක් වැඩි විය යුතු ය. මෙම අගය ශ්‍රී ලංකාවේ කරන සමීක්ෂණ සඳහා ය. සාම්පලයේ ප්‍රමාණය වාර්තා කර ඇති ද? යන්න ඔබ සොයා බැලිය යුතුම වන්නේ මේ නිසා ය. සාම්පලයේ ප්‍රමාණය සමග ආන්තික දෝශය සහ විශ්වාස මට්ටම සසඳා සමීක්ෂණය දියත් කර ඇති ආකාරය ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගත හැකි වේ. නමුත් මතක තබාගන්න - මේ සියල්ල රඳා පවතින්නේ සමීක්ෂණයට අදාළ වන සියලුම දෙනාව සමාන අවස්ථාවක් ලැබෙන බව සහතික වන ආකාරයට සාම්පලය තෝරාගෙන තිබේ ද, යන පළමු කාරණය මත ය. 

තෙවැන්න - ප්‍රශ්නය රාමුකර ඇත්තේ මොන ආකාරයට ද? 

ප්‍රශ්නය සහ එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට ඇති අවස්ථා ඉදිරිපත් කර ඇත්තේ කුමන ආකාරයකින් ද, යන්න රාමුකිරීම යන්නේ අදහස වේ. ලැබෙන පිළිතුර තීරණය වන්නේ ප්‍රශ්නයේ ස්වභාවය අනුව ය. උදාහරණයකට - ‘ඔබ ඡන්දය දෙන්නේ කාට ද?’ නැතහොත්  ‘රටේ ප්‍රශ්න විසඳීමට හොද හැකියාවක් තිබෙන්නේ කාට ද?’ යැයි සමීක්ෂණයකින් විමසා සිටින්නේ යැයි සිතමු. මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු එකිනෙකට අතිශයින්ම වෙනස් වීමට ඉඩ ඇත. 

පිළිතුරු ලබාදීමට ඇති අවස්ථා ඉදිරිපත් කර තිබෙණ ආකාරයත් වැදගත් ය. එහිදී, පිළිතුරු ලබාදීමට ඇති අවස්ථා සරලව ලැයිස්තුවක් ලෙස දැක්වීමට හෝ එම අවස්ථා සමග ඒවා එක එකක් සම්බන්ධයෙන් ධනාත්මක හෝ සෘණාත්මක විස්තරයක් සහිතව දැක්වීමට සමීක්ෂණයකට හැකි ය. පිළිතුර ලබාදෙන්නා අදාළ විස්තරය පදනමේ සිට සිය පිළිතුර ලබාදෙන තැනට පෙළඹවීමක් මෙම දෙවෙනි ආකාරයේ දී, සිදුවේ. උදාහරණයකට - පළමු තෝරාගැනීම - නම් පුද්ගලයාට, අත්දැකීම් ඇත. දෙවෙනි තෝරාගැනීම - Y නම් පුද්ගලයාට දූෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇත. 

සමීක්ෂණය සිදුකර ඇති කාල වකවානුවත් ඔබ දැනගත යුතු ය. ලැබී ඇති පිළිතුරු, ප්‍රශ්නය අසන ලද දිනය මත පදනම් වීමට හැකියාවක් තිබීම එයට හේතුව යි. උදාහරණයකට - මැතිවරණයකට අදාළ ප්‍රශ්නයකට ලැබී ඇති පිළිතුර එම ප්‍රශ්නය ලද සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ සිදුවීමක් හෝ අනෙක් අතට, ආර්ථික වශයෙන් සුබදායක තත්ත්වයක්/පුවතක් මත සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි ය. 

සිව්වැන්න - සමීක්ෂණය සිදුකර ඇත්තේ වගකිව යුතු ආයතනයක් ද? 

මේ දිනවල හුවමාරු වෙමින් තිබෙණ ඇතැම් සමීක්ෂණ ප්‍රතිඵල වාර්තාවල එම සමීක්ෂණය සිදුකර ඇත්තේ පිළිගත් ආයතනයක් බවට කිසිදු සඳහනක් නොමැත. ඇතැම් ඒවාවල සඳහන්ව ඇත්තේ සැකකටයුතු සහ ප්‍රසිද්ධ පිළිගැනීමක් නොමැති ආයතනයන්ගේ නම් ය. තවත් අවස්ථාවල එම ප්‍රතිඵලවල වගකීම ගැනීමට සමාජය හදුනන, ප්‍රකට පුද්ගලයින් ඉදිරිපත් වන්නේ ද, නැත. මෙවන් සමීක්ෂණයන් විශ්වාස කළ නොහැක. 

සමීක්ෂණය සිදුකර ඇත්තේ වගකිව යුතු ආයතනයක් යැයි හඳුනාගැනීමට එම ආයතනයේ ලාංඡනය සමීක්ෂණ වාර්තාවේ පවතිනවා ද, යන්න සොයා බැලීම පමණක් ප්‍රමාණවත් නැත. එම ලාංඡනය වුවමනා නම් පහසුවෙන්ම වෙනම එකතු කළ හැකි ය. වගකිව යුතු ආයතනයක් නම් සෑම අවස්ථාවකම එම ආයතනය යටතේ කළ සමීක්ෂණයක තොරතුරු එහි වෙබ් අඩවිය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රසිද්ධ කරයි. 

කෘතිම බුද්ධියේ ප්‍රගතියත් සමග කිසියම් රූපයක් රැගෙන එයින් ඔ්නෑම ප්‍රතිඵලයක් දර්ශනය වන ආකාරයට එය නැවත සකසා ගැනීමට දැන් හැකි ය. එනිසා, ‘අලුත්ම සමීක්ෂණයේ තොරතුරු’ යැයි සඳහන් එවන් රූප එකිනෙකා අතර බෙදා ගැනීම නොකළ යුතු ය. කළ යුත්තේ අදාළ සමීක්ෂණයට අදාළ තොරතුරු ඇති සබැඳියන් හෝ ඒවා ප්‍රසිද්ධ කර ඇති සමාජ මාධ්‍ය වේදිකාවන්වල අදාළ පොස්ටු බෙදා ගැනීම ය. ඒවා ද, විශ්වාසවන්ත මූලාශ්‍රයන් විය යුතුම ය. 

ප්‍රශ්න 4 නැවත මතක් කළහොත්- 

  1. සාම්පලය තෝරාගෙන තිබෙණ ආකාරය. එය තෝරාගෙන තිබෙන්නේ මුළු රටම නියෝජනය වන අයුරින් ද?
  2. දෝශ සම්භාවිතාවය සහ සාම්පලයේ ප්‍රමාණය මොකක් ද?
  3. ප්‍රශ්නය රාමුකර ඇත්තේ මොන ආකාරයට ද?
  4. සමීක්ෂණය සිදුකර ඇත්තේ වගකිව යුතු ආයතනයක් ද?

ඉහත සඳහන් කර ඇති එකම ප්‍රශ්නයකට හෝ පිළිතුරක් ඔබේ අතට ලැබී ඇති සමීක්ෂණ වාර්තාවේ නැතිනම්, එය තවත් අයෙකු සමග බෙදා ගැනීමට පෙර දෙවරක් සිතා බලන්න. ඔබම විමසා බලා විශ්වාසය තහවුරු කරගන්නා තෙක් එය තවත් කෙනෙකුට යැවීමෙන් වළකින්න.