almost 10 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

ඒ අප්‍රේල් 24 සහ 25 යන දෙදින, ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ (2008 අංක 14) ගැසට් නියෝග තුනක් (අංක 1847/35-37) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සුපිරි වෙළදසැල්, සුපිරි නිවාස, කාර්යාල සහ ඉඩ පහසුකම් සහිත සුඛෝපභෝගී සුපිරි සංචාරක නිකේතන තුනක් සදහා බදු සහ තවත් සහන සදහා අනුමැතිය ලබාගැනීම සදහා ය.   

කැසිනෝ සදහා සහන සහ ආවරණය ලබාදීම මගින් ජාවාරම් කිරීමට අවස්ථාව ලැබේය යන පදනමින් විපක්ෂයේ දැඩි ආන්දෝලනයට ලක්වූ මෙම නියෝග මීට පෙර අවස්ථාවකදී ඉවත් කරගනු ලැබිණි. Queensbury Leisure Pvt. Ltd. (ධම්මික පෙරේරාට අයත්), Waterfront Properties Pvt. Ltd (ජෝන් කීල්ස් සමාගමට අයත්) Lake Leisure Holdings (ක්‍රවුන් රිසෝට්ස් සමාගමට සහ රවි විජේරත්නට අයත්) යන සමාගම් තුන මෙම සහන ක්‍රියාවලියට යටත් වේ.   

පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණයේ ප්‍රමුඛ අන්තර්ජාලගත වේදිකාව වන Manthri.lk  මෙම පනත් ඡන්ද විමසීම විශ්ලේෂණය කර ඇත්තේ පහත සදහන් ආකාරයටය.    

විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු නියෝග වලට පක්ෂව ඡන්දය භාවිත කර නැති අතර එ.ජ.නි.ස. ඡන්ද බලය වන 162 න් 104 ක් පමණක් නියෝග තුනටම පක්ෂව ඡන්දය භාවිතා කළ අතර එය වත්මන් පාර්ලිමේන්තුවේ පනතක් සදහා ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂ පුළුල් විරෝධයක් මතුවූ අවස්ථාව ද වේ.










ශ්‍රී.ල.නි.ප. ඡන්ද ලබාදීම 

  • සියල්ලටම පක්ෂව - මන්ත්‍රීවරු 87  
  • සියල්ලටම නොපැමිණි/ඡන්දය භාවිතයෙන් වැළකී සිටි - මන්ත්‍රීවරු 27  
  • මිශ්‍ර ඡන්ද - මන්ත්‍රීවරු 11 (වගු අංක 1 පරිදි)





එ.ජ.නි.සන්ධානයේ වෙනත් පක්ෂ   

  • සියල්ලටම පක්ෂව - මන්ත්‍රීවරු 17
  • සියල්ලටම විපක්ෂව - මන්ත්‍රීවරු 1 (අතුරලියේ රතන හිමි)
  • සියල්ලටම නොපැමිණි/ඡන්ද භාවිතයෙන් වැලකී සිටි - මන්ත්‍රීවරු 14
  • මිශ්‍ර ලෙස ඡන්දය භාවිතා කළ - මන්ත්‍රීවරු 5 (වගු අංක 2 න් දක්වා ඇති පරිදි)    





එ.ජ.නි.ස. පක්ෂ ඡන්ද ලබාදුන් ආකාරය ගැන වැඩි දුරටත් අවධානය යොමු කළ හොත්...   

ශ්‍රී.ලං.මු.කො- සියලුම මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම් තුනටම නොපැමිණි අතර ඡන්දය භාවිතයෙන් වැලකී සිට ඇත.    


ජා.හෙ.උ- ඡන්ද ලබාදුන් රටාව පහත පරිදි වේ. 

  • එල්ලාවල මේධානන්ද හිමි - නියෝග තුනේම ඡන්ද විමසීම් වලට නොපැමිණි අතර ඡන්දය භාවිතයෙන් වැලකී ඇත.
  • අතුරලියේ රතන හිමි - නියෝග තුනටම විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත.
  • චම්පික රණවක - පළමු නියෝගයේ ඡන්දයට නොපැමිණ ඡන්දය භාවිතයෙන් වැලකී ඇති අතර දෙවැනි තුන්වැනි ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත.  


එ.ජ.නි.ස.ට  එක් ව සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් 7 ක් නියෝග සදහා පක්ෂව ඡන්දය භාවිතා කර ඇති අතර උපේක්ෂා ස්වර්ණමාලි දෙවැනි තුන්වැනි ගැසට් ඡන්ද වලට නොපැමිණි අතර මනුෂ නානායක්කාර පළමු ගැසට් ඡන්දයට සහභාගී නොවීය.   

 මෙම ඡන්ද රටාව පිළිබදව ඔබ පුදුම වන්නේ ද? ආණ්ඩුවට මෙයින් අසාධාරන සැලකීමක් සිදුවී ඇත්ද? ජනතාව රැවටීමට ලක් කරන බව කියමින් විරෝධතාව පළ කරන මන්ත්‍රීවරුන් සමග ඔබ එකග වන්නේ ද? ඔබේ ප්‍රතිචාර 071-463-9882 අංකයට කෙටි පණිවිඩ මගින් හෝ facebook.com/Manthrilk  වෙත හෝ දන්වන්න.   

ගැසට් නියෝග 1847/35 ට ලබාදුන් ඡන්ද විස්තර සදහා මෙතැනින් ද 1847/36-37 ගැසට් නියෝගයට ලබා දුන් ඡන්ද විස්තර සදහා මෙතැනින් ද පිවිසිය හැක.