over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

2018 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පසුගිය නොවැම්බර් 16 වැනිදාට යෙදී තිබුණු අතර, එහි දී එය වැඩි ඡන්ද 93 කින් සම්මත විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුනො‘වුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හෝ සන්ධාන අනුව, ඡන්දය ප්‍ර‍කාශ කළ ආකාරය මෙම ග්‍රැෆික් සටහනින් දැක්වේ. 

 

ජාතික ආණ්ඩුවේ, යහපාලනය සඳහා වන එ.ජා.පෙ. කණ්ඩායමේ නොපැමිණි මන්ත්‍රීවරුන් හැර සෙසු සියලුම මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍ර‍කාශ කර තිබීම ද, ජාතික ආණ්ඩුවේ, එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 35 ක් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන විට ; ජාතික ආණ්ඩුවේ කොටස් කරුවන් නොවන ඒකාබද්ධ විපක්ෂයේ එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 52 ක්  ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබීම ද නිරීක්ෂණය කළ හැකි ය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 අතරින්, නොපැමිණි දෙදෙනා හැර සෙසු මන්ත්‍රීවරුන් 14 දෙනා ම අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා ම අයවැය ට විපක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබ ඇත. මේ අතර ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයා (ඩග්ලස් දේවානන්ද) අයවැයට පක්ෂ ව ඡන්දය භාවිතා කරනු ලැබී ය.

පසුගියදා අමාත්‍ය තනතුරු වලින් ඉවත් කළ හිටපු අමාත්‍යවරු තිදෙනා අතරින්, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍ර‍කාශ කරනු ලැබීම ත්, අරුන්දික ප්‍ර‍නාන්දු සහ ඩුලිප් විජේසේකර මන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍ර‍කාශ කර තිබීමත් නිරීක්ෂණය කළ හැකි ය. මේ අතර ‘ද්විත්ව පුරවැසි‘ කරුණ තහවුරු වීම මත, අසුන අහිමි වූ පා.ම. ගීතා කුමාරසිංහ වෙනුවට පත් වූ පා.ම. පියසේන ගමගේ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂ විය.

ඡන්දය ප්‍ර‍කාශ කිරීමට එදින පාර්ලිමේන්තු සභා ගැබට නොපැමිණි මන්ත්‍රීවරුන් 15 දෙනාගේ නාම ලේඛනය මතු දැක්වෙන අතර, ආණ්ඩුව නියෝජනය කරන ප්‍ර‍බලතම අමාත්‍යවරුන් 5 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍ර‍බලතම සාමාජිකයෙකු ද, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 2 ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර‍සයේ එක් මන්ත්‍රීවරයෙකු ද ඒ අතර වේ.

 

අයවැයට ඡන්දය ප්‍ර‍කාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය

1.     අමාත්‍ය හර්ෂ ද සිල්වා - එ.ජා.ප.

2.     පා.ම. ප්‍රේමලාල් ජයසේකර - එ.ජ.නි.ස.

3.     පා.ම. ලකී ජයවර්ධන - එ.ජා.ප.

4.     අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර - එ.ජා.ප.

5.     පා.ම. මුත්තු සිවලිංගම් - එ.ජ.නි.ස.

6.     පා.ම. චතුර සේනාරත්න - එ.ජා.ප.

7.     පා.ම. මහින්ද රාජපක්ෂ - එ.ජ.නි.ස.

8.     අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම - එ.ජා.ප.

9.     පා.ම. ඊ. සරවනපවන් - දෙ.ජා.සං.

10.අමාත්‍ය රාජිත සේනාරත්න - එ.ජා.ප.

11.අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න - එ.ජ.නි.ස.

12.පා.ම. සෙයිඩ් අලි මවුලානා - ශ්‍රී.ල.මු.කො.

13.පා.ම. සිරිපාල ගම්ලත් - එ.ජ.නි.ස.

14.පා.ම. ශිවශක්ති නඩේසු - දෙ.ජා.සං.

15.පා.ම. රෝහිණී කුමාරි - එ.ජා.ප.