about 10 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

ශ්‍රී ලංකාව ‘ජනගහනය වයස්ගත වීම’ සමිබන්ධ ගැටලුවට මුහුණ පා සිටින රටකි. ජනගහනය වයස්ගත වීම යනු සමස්ත ජනගහනය තුළ සිටින විශ්‍රරාමික වයසේ ජන සංඛ්‍යාව ක්‍රමිකව සීඝ්‍රයෙන් ඉහළ යාමයි. සමස්ත ශ්‍රී ලංකාව සමග සසඳන කළ පාර්ලිමේන්තුව තුළ වයස්ගතවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ අගයක් ගන්නා බව පෙනේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වයස් සාමාන්‍යය එම වයසේම සිටින ජනගහනයේ වයස් සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගන්නා අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීරවරුන්ගේ වයස්ගත වීමේ වේගයද  සීඝ්‍ර වී ඇත. Manthri.lk වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වයස් ව්‍යුහය පිළිබඳව සිදුකල විශ්ලේෂණය මගින් මේ පිළිබඳව මනා විග්‍රහයක් සපයයි.            

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් වයස්ගතම මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 86 ක් වන අතර ලාබාලම මන්ත්‍රීවරයාගේ වයස  අවුරුදු 27 කි. පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා යෝග්‍යවන සාමාන්‍ය වයස අවුරුදු 25 ක් ලෙස සලකමු. ජනගහනය තුළ සිටින වයස අවුරුදු 25 ට වැඩි ජන කොටසින් වයස අවුරුදු 65 ඉක්මවා ඇත්තේ 11.5% ක ජන ප්‍රතිශතයකි. නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් වයස අවුරුදු 65 ඉක්මවූ මන්ත්‍රී ප්‍රරතිශතය 23% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. වයස අවුරුදු 40 - 50 දක්වා කාණ්ඩය තුළ පාර්ලිමේන්තුව සහ සාමාන්‍ය ජනගහනය තුළ වයස් ව්‍යුහයේ ව්‍යාප්තිය සාපේක්ෂ ලෙස සමානතාවක් දක්වයි. නමුත් වයස අවුරුදු 50 ට වැඩි සෑම වයස් කාණ්ඩයක් තුළම පාර්ලිමේන්තුව තුළ සිටින වයස්ගත මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතය සාමාන්‍ය ජනගහනය තුළ සිටින වයස්ගත ජන ප්‍රතිශතයට මෙන් දෙගුණයක් වැනි ඉහළ අගයක් ගනී.  



ඉහත රූප සටහනෙහි වම්පසින් සාමාන්‍ය ජනගහනය ද දකුණුපසින් පාර්ලිමේන්තු නියෝජිතයන් ද දැක්වේ. මෙහිදී පස් අවුරුදු වයස් සාමාන්‍යයන් ලෙස වයස අවුරුදු 25 ට වැඩි ජනකොටසේ වයස් ව්‍යුහය දක්වා ඇත. තිරස් තීරු මගින්  නිරූපනය වන්නේ අදාළ වයස් කාණ්ඩය තුළ සිටින වයස අවුරුදු 25 ට වැඩි ජනගහන හෝ මන්තී‍්‍ර ප‍්‍රතිශතයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ වයස් ව්‍යුහය පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ ඔවුන් සාමාන්‍ය ජනගහනයේ වයස් ව්‍යාප්තියට සාපේක්ෂව වයස්ගත බවත් එම වයස්ගත වීම ඉතා වේගයෙන් ඉහළ යන බවත්ය. වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩකට ආසන්න ප්‍රතිශතයක් වයස අවුරුදු 55 ට වැඩි වයසේ පසුවේ. 

මේ අනුව තව අවුරුදු 15 කදී පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින  50% ක් පමණ මන්ත්‍රීවරුන් වයස අවුරුදු 65 ඉක්මවනු ඇත.  ජන්ද දායකයින් තරුණ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්  තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතු ද? එසේ නැතිනම වයස වැඩි මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගනිමින් පරිනත පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත යුතුද? මේ පිළිබඳව ඔබගේ අදහස් www.manthri.lk වෙබ් අඩවියෙහි බිලොග් සටහන (blog space) වෙත හෝ කෙටි පණිවිඩ (sms) මාර්ගයෙන් 071-4639882 වෙතට යොමු කරන්න.