almost 9 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයෙන් බලයට ආ මෛත්‍රිපාල සිරිසේන වෙතින් ආ ප්‍ර‍ධානතම පොරොන්දුව වූයේ ‘යහපාලනය‘යි. එහි අඩංගු වුණු ප්‍ර‍මුඛ කරුණක් වූයේ  විනාශකාරී දේශපාලන සංස්කෘතික ලක්ෂණයක් ලෙස සෑමතැනම දකින්නට තිබුණු, මහජනතාව සේවය කිරීම පසෙක තබා නීතිය සියතට ගනිමින් මහජනතාව පාලනය කිරීමට තැත් කරන දේශපාලනඥයින් හමුවන වටපිටාවට තිත තැබීමයි. මේ අවසානය සඳහා වූ සාර්ථක හා ක්‍රියාවට නැගිය හැකි විසඳුම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වන ආචාරධර්ම පද්ධතියයි. (මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියේ වන) මෛත්‍රී මීටරය පෙන්වා දෙන පරිදි, මුල් දින සියයේ වැඩ පිළිවෙලට අනුව, මෙයට වසරකට පෙර (එනම් 2015 ජනවාරි මස 22 වැනි දින) මෙම පද්ධතිය මහජනතාව වෙත ඉදිරිපත් කිරීමටත් පසුගිය පෙබරවාරි 02 වැනි දින මෙය පාර්ලිමේන්තුව වෙත ක්‍රියාත්මක කිරීමටත් නියමිතව තිබිණ.

 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මහජනතාව වෙත පොරොන්දු වූ පරිදි ආචාරධර්ම පද්ධතියක් තවමත් ඉදිරිපත් කර නොමැති මොහොතෙහි ශ්‍රී ලංකාව මෑතදී ලබාගන්නා විවෘත රාජ්‍ය එකමුතුවේ (Open Government Partnership (OGP))  සාමාජිකත්වය, එම  පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා රජයට අවශ්‍ය දිරිය සහ අවස්ථාව යන දෙකම ලබා දෙයි. ‘විවෘත රාජ්‍ය එකමුතුව‘ සම්පාදනය කර ඇති ජාත්‍යන්තරව පිළිගත් පා.ම. සඳහා වූ ආචාරධර්ම පද්ධතිය එම පියවර පිණිස වන රාමුව සකසා දෙන හෙයිනි.


රටවල් 68ක් පමණ වන විවෘත රාජ්‍ය එකමුතුවේ සාමාජික රටවල් අතරට එක් වීම සඳහා පසුගිය ඔක්තෝබරයේ මෙක්සිකෝවේදී එම ගිවිසුම් අත්සන් තබමින් ශ්‍රී ලංකා රජය  මහජනතාව වෙත දැඩි ලෙස වගකීමට ඇති සිය උවමනාව ප්‍රකට කෙළ් ය. ශ්‍රී ලංකාව “පුරවැසියා වෙත බලය යොමු කෙරෙන විවෘත ආණ්ඩු සඳහා වන ගෝලීය සංස්කෘතියක් බිහිකිරීම’ සඳහා එකඟතාවය පළ කොට ඇත. පා.ම. සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම මගින් ද විවෘත ආණ්ඩුවක් සඳහා වන එකඟතාව පිළිබඳ නව රජයේ උනන්දුව ලොවට පෙන්නුම් කළ හැක.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් සම්පාදනය කිරීම පිණිස ආදර්ශ මොඩලයක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බොහෝ වෙහෙසිය යුතු නැත.  විවෘත රාජ්‍ය එකමුතුව විසින් 2015 ඔක්තෝබර් මසදී එළි දක්වා ඇති, මහජන නියෝජිතයින් ලෙස සිය සේවාව සඳහා කැපවී කටයුතු කිරීමට සහාය වන පරිදි සකසා ඇති ආචාරධර්ම එකතුවකින් යුතු පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා වන පොදු ආචාරධර්ම පද්ධතිය ඒ් සඳහා භාවිතයට කැඳවිය හැක.

 

ජාත්‍යන්තර අත්දැකීම් මත පදනම්ව, පුළුල් පාර්ලිමේන්තු සාමාජික පිරිසකගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයේ සහභාගිත්වයන් සැකසී ඇති පොදු ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තු සාමාජිකයින් සඳහා විශ්ව ආචාරධර්ම  යෝජනාවට නගයි. එය පාර්ලිමේන්තු සාමාජිකයින් අවධානය යොමු කළ යුතු කාරණා ගණනාවක් පුළුල් තේමා පහක් යටතේ ග‍ෙන එයි. එනම්;

·        ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය සුරැකීම

·        මහජන අවශ්‍යතා සඳහා කටයුතු කිරීම

·        මහජන විශ්වාසය සුරක්ෂිත කිරීම

·        වෘත්තීකයකු ලෙස හැසිරීම

·        විවිධත්වය හා බහුවිධතාව ඇගයීම

වශයෙනි.

 

පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු සාමාජිකයන් විසින්ම අවධාරණය කරන පරිදි, ඔවුන් ජාත්‍යන්තර ප්‍ර‍මිතීන් සඳහා කටයුතු කරන ආයතනයක් පිහිටුවමින් ආචාරධර්ම සුරකිමින් කටයුතු කරන පාර්ලිමේන්තුවක් සඳහා මූලධර්ම පද්ධතියක් ඇති කිරීමට පෙරමුණ ගෙන ඇත. අනම්‍ය සහ අපේක්ෂාසහගත මූලධර්මයන්වලින් සමන්විත විවෘත රාජ්‍ය එකමුතුවේ මූලධර්ම පද්ධතිය ව්‍යවස්ථාදායක හෝ දේශපාලනික ප්‍ර‍තිසංස්කරණයක් සඳහා මංපෙත් පාදා දෙයි. එසේම එය පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය මිනිය හැකි මිනුම්දණ්ඩක් ලෙස ද කටයුතු කරයි.

 

එයට දිනාගත හැක්කේ කුමක් ද?

 

ආචාරධර්ම පද්ධතියේ ඇතැම් යෙදවීම් ක්‍රියාවට නැංවීම පාර්ලිමේන්තු සාමාජිකයා විසින්ම සිදු කළ යුතු නමුත් සෙසු  කරුණු නීති ප්‍ර‍කාරව පිහිටුවමින් බලය ඇති තැනදී දේශපාලඥයින් විසින් අයුතු ලෙස කටයුතු කිරීම සහා ඇති ඉඩකඩ වසා දැමීමට කටයුතු කළ හැකි ය. වෛරී ප්‍ර‍කාශ ශුන්‍ය කිරීම, ව්‍යාපාරික සබතා හෙළිදරව් කිරීම, ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් ලැබෙන මූලයන් සහ ස්වාධීනත්වය පිළිබ ගැටළු පැන නැගිය හැකි, මහජන විශ්වාසය බිඳ වැටෙන තෑගිභෝගාදිය ගැන හෙළි කිරීම ඇතුළු විශාල පරාසයක විහිදෙන රීති මාලාවක් මෙහි අඩංගු ය. එසේම පාර්ලිමේන්තුව ඇතුළත වන විමර්ෂණ ක්‍ර‍මවේදයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සැලකීම වැනි දෙයින් සමන්විත අභ්‍යන්තර යාන්ත්‍ර‍ණයන් ද මෙතුළ අන්තර්ගත ය.

 

විනාශකාරී දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික කථිකාව, වඩා යහපත් වෙනසක් ඇති කළ හැකි ප්‍ර‍ධානතම පොරොන්දු අතුරින් එකක් බරපතල ලෙස අමතක කොට දමා ඇත. 19වැනි සංශෝධනය හරහා ගෙන ආ ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම මගින් ඇති කළ ප්‍ර‍ගතියට සහායක් දීමට ආචාරධර්ම පද්ධතියට හැකි ය. ඒ හා සමග, සුවිශේෂ වරප්‍ර‍සාද ඇති අය ලෙස නොව, නීතිය ඉදිරියේ සමාන ලෙස ගනිමින් සාමාන්‍ය පුරවැසියන් ලෙස පාර්ලිමේන්තු සාමාජිකයින්ට සැළකීම පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි ය.