over 9 years ago by manthri.lk - Research Team under in විශ්ලේෂණ

  Manthri.lk පෙර විශ්ලේෂණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ පාර්ලිමේන්තු දායකත්වයන් පිළිබදව දෙයාකාරයක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඉන් පළමුවැන්න කාන්තාවන් සදහා පාර්ලිමේන්තු‍වේ තිබෙන නියෝජනය 5.8% ක් වැනි සුළු ප්‍රතිශතයක් වීම ය. දෙවැන්න නම් ඔවුන් පාර්ලිමේන්තුව තුළ කටයුතු වලට දක්වන සහභාගීත්වය සමස්ත මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් 2.6% ක් වැනි සුළු ප්‍රතිශතයක් වීමය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සීමිත විෂයන් කිහිපයක් පිළිබදව පමණක් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන්නේ ද, නැත්නම් ඔවුන් එම විෂය කිහිපය පිළිබදව වැඩිපුර බර තබා තිබේද යන්න මෙමගින් විශ්ලේෂණය කෙරේ.     

මන්ත්‍රීවරියන් පුළුල් විෂය පරාසයක 

2012 මැයි- 2014 අප්‍රේල් කාලය අතරතුර, Manthri.lk විෂය වර්ගීකරණයේ විෂය 42  අතුරින් 36 කට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය දායකත්වය දක්වා ඇති බව හදුනාගත හැකි අතර එය සමස්ත විෂය පරාසයෙන් 86% කි.   

පුළුල් එහෙත් නොගැඹුරු විමසුමක 

පහත සටහන 1 මගින් දැක්වනෙ පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 5.8% ක් වන සිය කුඩා නියෝජනය භාවිතා කරමින් විෂය පථ දෙකකදී මන්ත්‍රීවරුන් අභිබවමින් දායකත්වය දක්වන බවත්, සෙසු විෂයන්හිදී මන්ත්‍රීවරියන්ගේ දායකත්වය ඉතා අඩු බවත් පැහැදිලි වේ. 



                                                

ඇමතිවරියන් වීමෙන් ඇති කර තිබෙන වෙනස   

මන්ත්‍රීවරියන් වැඩිපුරම දායකත්වය සපයා ඇති විෂය 5 අතුරින් 3 ක් භාර විෂය අමාත්‍යංශ වල අමාත්‍ය තනතුරු දරන්නේ කාන්තා මන්ත්‍රීවරියන්ය. පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරිය ද, නිරුපමා රාජපක්ෂ, ජල සම්පාදන හා ජලපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ද, සුමේධා ජී. ජයසේන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරිය ද වේ. අමාත්‍යවරියන් සිය අමාත්‍යංශ විෂයන් සම්බන්ධ දායකත්වයේදී සෙසු මන්ත්‍රිවරියන් අභිබවා ඇතත්, ඔවුන් එම විෂයන් වලදී පවා මන්ත්‍රීවරුන් (පිරිමි) අභිබවා සිය දායකත්වය දක්වා නැත. ඔවුන්ට විෂය වශයෙන් අදාල අමාත්‍යංශ විෂයන්හි දායකත්වය අනුව ලැබී ඇති ස්ථානයන් (තත්වයන්) හතරවැනි(4) ස්ථානය, දෙළොස්වැනි(12) ස්ථානය සහ දහතුන්වැනි(13) ස්ථානය වේ. (සටහන 2)   


                                                                     


කාන්තා මන්ත්‍රීවරියන්ගේ අවධානය වැඩිපුර යොමු විය හැකි යැයි අනුමාන කළ හැකි ; කාන්තා, ළමා හා වැඩිහිටි අයිතිවාසිකම් හා තරුණ කටයුතු යන විෂයන් දෙක මන්ත්‍රීවරියන් වැඩිපුරම දායකත්වය දී තිබෙන විෂය 5 යටතට ගැනී ඇත.  

 මෙම දත්ත විශ්ලේෂණය ඔබට පැහැදිලි ද? මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුව තුළ ප්‍රභල හඩක් නැගීමට අවකාශ නොලැබෙන්නේ මන්ද? ඔවුන් අකාර්යක්ෂම ද? නැත්නම් ඔවුන්ට ලැබෙන අවස්ථා සීමිත ද? ඔබේ අදහස් සහ ප්‍රශ්න www.manthri.lk/en/blog වෙත හෝ Manthri.lk ක්ෂණික ඇමතුම් අංකය 071-4639882 වෙත කෙටි පණිවිඩ මගින් යොමු කරන්න.