about 2 years ago by Manthri.lk Research Team under in විශ්ලේෂණ

2022 මාර්තු 23 පැවති කල් තැබීමේ යෝජනාව, විශ්‍රාම පාරිතෝෂිකය නිසි කලට ලබා දීම පිළිබඳව යි. මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ පා. ම. ජේ. සී. අලවතුවල යි.

“විශ්‍රාමික රාජ්‍ය සේවකයින් විශ්‍රාම ලබා ගැනීමෙන් අනතුරුව ලබාදෙන ඔවුන්ට හිමි විශ්‍රාමික පාරිතෝෂික දීමනාව ලබා ගැනීම සඳහා ඔවුන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට රජය කටයුතු කිරීම නිසා, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් බලවත් අපහසුතාවට පත් වී ඇත. තම ජීවිත කාලයේ වසර 30කට ආසන්න කාලයක් රාජ්‍ය සේවය සඳහා කැප වී කටයුතු කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගැනීමෙන් පසුව  පාරිතෝෂික දීමනාවක් ලබා ගැනීමට හිමිකම් ඇත. ... මෙම පාරිතෝෂික මුදල උපයෝගි කරගෙන තම දරුවන්ගේ කටයුතු සහ ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සිදු කිරීමට නියමිත ප්‍රතිකර්ම කටයුතු සඳහා භාවිතා කිරීමට බොහෝ දෙනෙක් අපේක්ෂා කරති. ... පාරිතෝෂික දීමනාව නිසි කලට කඩිනමින් ලබාදීම රජයේ යුතුකම සහ වගකීමයි. ... මෙය කඩිනමින් ලබා දීමට රජය කටයුතු කළ යුතු යැයි යෝජනා කරමි” කියමින් මෙය ඉදිරිපත් කළා.

"මීට කලින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයකින් මම මේ ගැන විමසීමක් කළා. ඒ අවස්ථාවේදීත් - දැනට මාස 6කට විතර කලින් - අධිකරණ ඇමති පොරොන්දු වුණා, ඉතා ඉක්මනින් - කඩිනමින් - මේ පාරිතෝෂික දීමනාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. නමුත් 2021 අගෝස්තු මාසයේ ඉඳලා මේ වෙනතුරු විශ්‍රාම ගිය අයට ඒ පාරිතෝෂික දීමනාව ලබා දෙන්න රජය අපොහොසත් වෙලා තිබෙනවා... මේක ඉතා අසාධාරණ තත්වයක්. මොකද, අද තිබෙන ආර්ථික තත්වයත් එක්ක ගොඩක් විශ්‍රාමිකයින් තමන්ට අවශ්‍ය බෙහෙත් ටික මිලදී ගන්නත් බැරිව අපහසුකම් රැසකට මුහුණ දී සිටිනවා... ඒ අයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ලබා ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය, එදා තිබුණු ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩු වෙලා තිබෙනවා."

“එතකොට රජය පාරිතෝෂික දීමනාව ලබා නොදී කල් අරිමින් ඉඳීම තුළ මුදලේ වටිනාකම අඩු වෙනවා. එතකොට රාජ්‍ය සේවකයාට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ... ඒ අයගේම පඩියෙන් කපා ගත්ත මුදල් නිසි වේලාවට ලබා දීමට අවශ්‍ය පියවර ගන්න කියලා ගරු ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. 2016 ඉඳලා විශ්‍රාමිකයින්ට වැඩි වූ විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් 2020 ජනවාරි ඉඳලා ගෙවන්න තිබුණා. ඒක අද ලැබිලා නැහැ.”

මීළඟට කල් තබන අවස්ථාවේ යෝජනාව ස්ථිර කළ පා. ම. හෙක්ටර් අප්පුහාමි මෙසේ කරුණු දැක්වුවා. "රාජ්‍ය සේවකයා විශ්‍රාම යනකොට රාජ්‍ය සේවකයාට කොහොමද සලකන්නේ කියලා පිටුපසින් ඉන්න අනෙක් රාජ්‍ය සේවකයෝ බලාගෙන සිටිනවා. රාජ්‍ය සේවකයාට කුඩම්මගේ සැලකිලි දක්වනවා නම් පිටුපස සිටින රාජ්‍ය සේවකයාට රාජකාරිය පිළිබඳ යම්කිසි කලකිරීමක් ඇති වෙනවා. මේ පාරිතෝෂිකය වැටුපෙන් කපන එකක්. එතකොට මේ මුදල් ගිණුමක තිබෙන්න ඕනෑ. විශ්‍රාම ගියාට පස්සේ ඒ ගිණුමෙන් ඒ මුදල් අරගෙන දෙන්න බැරි හේතුව මොකක්ද? පාරිතෝෂික දීමනාව නියමිත දවසට අතට ලැබෙන්නේ නැත්නම් ඒ මුදල හෙට අනිද්දා හෝ ඊළඟ මාසයේ අරගෙන වැඩක් නැහැ."

තවදුරටත් ඔහුගේ අදහස් මෙසේ අවධාරණය කළා. ''දැන් වැටුප් වර්ධක බලන්න. අපි කාලයක් තිස්සේ සටන් කරනවා, විශ්‍රාමිකයින්ගේ වැටුප් වර්ධක ටික දෙන්න කියලා. හැබැයි ඒකත් නොදී ඉන්න තත්ත්වයක් තුළ පාරිතෝශිකයත් ඩෙන්නේ නෑ කියන්නේ තවදුරටත් ඒ අය කඩා වැටෙන එකයි.''

පා. ම. වසන්ත යාපා බණ්ඩාර ඔහුගේ අදහස් ප්‍රකාශ කලේ මේ ආකාරයට යි. "ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පාරිතෝෂික දීමනාව වෙනුවෙන් මිලියන 17,000 ක වාගේ මුදල ගෙවා තිබෙනවා. නමුත්, තවමත් විශ්‍රාමිකයින් 16,000ක පමණ පිරිසකට මේ විශ්‍රාමික පාරිතෝෂික මුදල් ගෙවීමට තිබෙනවා"

පා. ම. සුජිත් සංජය විසින් වතු කම්කරුවන් වෙනුවෙන් මෙසේ කතා කළා. “හුඟක් වේලාවට වතු කම්කරු ජනතාවට මේ පාරිතෝෂික දීමනාව ලබා ගැනීමේදී, අර්ථසාධක මුදල් ලබා ගැනීමේදි නොයෙකුත් ආකාරයේ ගැටළු සහගත තත්ත්වයකට මුහුණ පාන්න සිදුවන බවත් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ. අපි දන්නවා ඔවුන්ට ලියකියවිලි පිරවීම අපහසු බව. එහිදී සිදුවන අඩුපාඩුකම් නිසා අර්ථසාධක අරමුදල් නිසි වේලාවට ගන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා.”

දේශපාලනයයි රාජ්‍ය සේවයයි අතර ඇති අනෝන්‍ය සහජීවි සබඳතාව පිළිබඳ ව මීළඟට අදහස් ප්‍රකාශ කළේ පා. ම. හේෂා විතානගේ. "ජනාධිපතිවරණයකදි වෙන්න පුළුවන්, මහ මැතිවරණයකදි වෙන්න පුළුවන්, දෙන පොරොන්දු රැල්ලේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ, 'රාජ්‍ය සේවය පුළුල් කිරීම' කියන කාරණය. ඒ අහිංසක හැබෑවක් කරනවාය කියන පොරොන්දුව දීලා ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණය කරා යන්න ඒ ජනතාව යොදා ගන්නවා ... ගරු ඇමතිතුමා නියෝජනය කරන, මා නියෝජනය කරන ග්‍රාමීය ප්‍රදේශවල දරුවෝ, උපාධි ලබා ගන්නා දරුවන්ට අපි පොරොන්දුවක් දෙනවා රජයේ රැකියාවක් දෙනවා කියලා. ඒ උපාධිධාරීන් ආපසු දේශපාලඥන් පස්සේ යනවා රැකියාවක් සොයාගෙන. රජයේ සේවය තුළ යම් තැනක තමාට ලැබෙන එම රැකියාවට අනුගත වෙනවා, රුපියල් 15,000ක, 20,000ක මාසික වැටුපකට. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගෙන බැලුවොත් පෙනෙනවා රාජ්‍ය සේවකයින්ගේ අතිරික්තයක් තිබෙන බව."

එසේම විශ්‍රාමික්යින්ගේ කම්කටොලු ගැන සංවෙදී වෙමින් මෙසේ ප්‍රකාශ කළා. "ගුරු සේවයේ ඉන්න ගුරු භවතුන්ට, රාජ්‍ය සේවයේ ඉන්න අනෙකුත් සේවකයින්ට තිබෙන හයිය ඒ විශ්‍රාමිකයින්ට නැහැ. මේ ප්‍රශ්නවලට වඩා අඩු ප්‍රමුඛත්වයක් දිය යුතු තැන් වෙනුවෙන් ආණ්ඩුවේ සමහර යෝජනා ක්‍රියාත්මක වා ආකාරය අපි දකිනවා, නමුත් අද තිබෙන ආර්ථික අපහසුතා හමුවේ අපේ රටේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ඒ සාධාරණය ඉටු කරන්න ප්‍රමුඛතාව දෙන්න ඕනේ."

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනක බණ්ඩාර තෙන්නකෝන් මීට පිළිතුරු වශයෙන්, "විපක්ෂයේ හිටියා නම් මම ඉදිරිපත් කරන යෝජනාවක්. මෙම යෝජනාව පිළිබඳව කථා කරපු මන්ත්‍රීවරුන් හතර දෙනා සමඟ මාත් එකඟ වන ගමන්, මට ලැබී තිබෙන පිළිතුර මම කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. 2014 අප්‍රේල් මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාමිකයින් 119,000කට අධික සංඛ්‍යාවට රුපියල් බිලියන 73 කට අධික මුදලක් විශ්‍රාම වැටුප් පාරිතෝෂික ලෙස ගෙවා ඇත. 2019.09.01 දින සිට 2022.03.23 දක්වා කාලය තුළ රුපියල් මිලියන 86,691 කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. 2021 සැප්තැම්බර් දක්වා විශ්‍රාම වැටුප් සක්‍රීය කර ගෙවූ සියලු විශ්‍රාමිකයින්ට පාරිතෝෂික මුදල් ගෙවා අවසන් කර ඇත. 2021 ඔක්තෝම්බර් සිට 2022 මාර්තු දක්වා විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කළ, එහෙත් පාරිතෝශික ගෙවීමට ඇති සංඛ්‍යාව 14,203කි. ඒ සඳහා අවශ්‍ය වන මුදල රුපියල් මිලියන 14,708කි. මෙතෙක් විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කර නැති විශ්‍රාමික්යින් 1,782කි. ඔවුන්ට පාරිතෝෂික ලෙස ගෙවීමට අවශ්‍ය මුදල රුපියල් මිලියන 16,651කි. ඒ අනුව, 2022.03.22 වන විට විශ්‍රාමිකයින් 15,985 කට පාරිතෝෂික ලෙස රුපියල් මිලියන 16,651ක් ගෙවීමට තිබෙනවා."

"මේ වෙලවේ තිබෙන අපහසුකම මිසක්, විශ්‍රාම වැටුප් හිමියන්ගේ අයිතියට අගතියක් වන ලෙස අපි කොයි වෙලාවකවත් කටයුතු කරන්නේ නැහැ" ලෙසින් කථාව අවසන් වුණා.