2008 මැයි මස 03 වැනිදා පටන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය(CRPD) බලාත්මක කෙරිණ. මෙම ප්‍රඥාප්තිය, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතීන් නිසි පරිදි සුරක්ෂිත කෙරෙන බව ස්ථිර කිරීම ඉලක්කගත කරමින් ඔවුන්ගේ නෛසර්ගික ගරුත්වයට ගරු කිරීම ඉහළ නැංවීම අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාව මෙම CRPD ප්‍රඥාප්තිය සමග එක් වූයේ 2016 පෙබරවාරි 08 වැනිදා ය. මේ හා බැඳුණු රාජ්‍යයක් ලෙස, ශ්‍රී ලංකාව නීතිමය වශයෙන්, CRPD ප්‍රඥාප්තිය තුළ සඳහන් අයිතීන් ක්‍රියාකාරී ලෙස ආරක්ෂා කිරීමට බැඳී ඇත. මේ පසුබිමේදී, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් වන මූලික අයිතීන් හතරක් සුරක්ෂිත කරදෙන බව සහතික කිරීමට ශ්‍රී ලංකාවට වගකීමක් ඇත. ඒවා නම්:
1. සමානව සුරක්ෂිත වීමේ අයිතිය සහ ආබාධිත යන පදනම මත වෙනස් කොට සැළකීමෙන් වැළකීමේ භාවිතය
2. ප්‍රවේශතාව සහ පෞද්ගලික සංචලතාව සඳහා ඇති අයිතිය
3. අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂණය හා රැකියාව සඳහා ඇති අයිතිය
4. දේශපාලනික හා පොදුජන ජීවිතය සදහා සහභාගි වීමේ අයිතිය
මෙම බ්ලොග් ලිපිය, මෙම අයිතීන් සඳහා බැදෙන නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව සබැඳි ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබද මූලික විමර්ෂණයකි.
1. සමානව සුරක්ෂිත වීමේ අයිතිය සහ ආබාධිත යන පදනම මත වෙනස් කොට සැළකීමෙන් වැළකීමේ භාවිතය
CRPD ප්‍රඥාප්තිය, එයට පක්ෂ වන රාජ්‍යය විසින් ආබාධිතත්වය පදනම්ව එන සියලුම වෙන්කොට සැලකීම් තහනම් කරනු ලබන අතර ආබාධ සහිත පුද්ගලයින් සඳහා සමාන හා ඵලදායී නීතිමය ආරක්ෂාව සළසනු ලබන බව සහතික කරයි ( 5 වන ඡේදය, CRPD ප්‍රඥාප්තිය).
සමාන ආරක්ෂාව සඳහා වන පුරවැසියාගේ අයිතිය තහවුරු කරන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, ජන වර්ගය, ආගම, ලිංගිකත්වය සහ භාෂාව ඇතුළු විශේෂිත කලාපයන් පදනම්ව වෙන්කොට සැළකීම තහනම් කරයි (12 වැනි වගන්තිය). කෙසේ නමුත්, දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවේදී මෙන්, ආබාධිතත්වය පදනම්ව වෙන්කොට සැළකීමෙන් වැළකී සිටීම සඳහා වන ආරක්ෂාව මෙරට ව්‍යවස්ථාව සම්පාදනය කර දෙන්නේ නැත.
2. ප්‍රවේශතාව සහ පෞද්ගලික සංචලතාව සඳහා ඇති අයිතිය
මෙම CRPD ප්‍රඥාප්තිය, ආබාධ සහිත පුද්ගලයින්ට ස්වාධීනව ජීවත් වීමට සහ සියළුම ජීවන කාර්යයන් සඳහා පූර්ණ වශයෙන් සහභාගී වීමට ඇති අවස්ථාව හිමිකර දෙන බවට එය හා බැඳුණු රාජ්‍යයන් ගිවිසුම්ගත කරයි. තවදුරටත්, ප්‍රවේශතාවන් අවහිර කරන බාධක හා සීමා (උදාහරණ ලෙස, ගොඩනැගිලි, මංමාවත්, රෝහල් සහ සේවා ස්ථානවල ඇති) ඉවත් කිරීමට බැඳුණු රාජ්‍යයන් එකඟතාව පල කරයි.
එසේම, CRPD ප්‍රඥාප්තියට එක්වීම මගින් ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය සහායක තාක්ෂණය සහ සජීව සහායකත්වය ලබාදීමට අදාල රාජ්‍යය අනිවාර්ය එකගතාව පළ කර සිටියි ( 20 වැනි වගන්තිය, CRPD ප්‍රඥාප්තිය). විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පනත අනුකූලව, 2009 වසර වන විට සියලුම පොදු ස්ථාන සහ ගොඩනැගිලි ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පරිදි සකසන බවට 2006 වසරේදීට 2006 වර්ෂයේදී නීති සම්පාදනය විය. කෙසේ නමුත්, අද වන විටද එහි ප්‍රගතිය මන්දගාමී ය.
තව දුරටත්, මහජන අවකාශවල බ්‍රේල් මුද්‍රණ යන්ත්‍ර සහ තිර කියවීම් යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණ සහ සහායක උපකරණවල හිඟකම හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයින්ට පොදුජන ජීවිතය හා අර්ථ සම්පන්න ලෙස ආබද්ධ වීමට ඇති අවස්ථාවට දිගින් දිගටම බාධා එල්ල වෙමින් පවතී.
3. අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂණය හා රැකියාව සඳහා ඇති අයිතිය
CRPD ප්‍රඥාප්තිය ආබාධිධත්වය පදනම් කරගනිමින් සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළින් පුද්ගලයින් ඉවත් කරනු ලැබීමෙන් ඔවුන්ව ආරක්ෂා කරයි (24 වගන්තිය, CRPD ප්‍රඥාප්තිය). තවදුරටත්, මෙම ප්‍රඥාප්තිය, වෙන්කොට සැළකීමකින් තොරව සෞඛ්‍ය සේවයේ ඇති ඉහළම තත්වයන් භුක්ති විදීමේ අයිතිය ආබාධ සහිත පුද්ගලයින් වෙත තහවුරු කොට දෙයි (25 වගන්තිය, CRPD ප්‍රඥාප්තිය). එසේම CRPD ප්‍රඥාප්තිය ආබාධ සහිත පුද්ගලයින්ට ශ්‍රම වෙළදපොල තුළ ඇති අයිතිය ආරක්ෂා කිරීමට ද බැඳී සිටී. (27 වගන්තිය, CRPD ප්‍රඥාප්තිය).
1997 වර්ෂයේ සිදු කෙරුණු මූලික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළදී ශ්‍රී ලංකා රජය ‘ඇතුළු වූ අධ්‍යාපනය‘ නැමති සංකල්පය හඳුන්වා දුන්නේ ය. මෙම ප්‍රතිපත්තිය මගින් ආබාධ සහිත දරුවන් සාමාන්‍ය පන්ති කාමරයට කැඳවනු ලැබී ය. කෙසේ නමුත්, සහායක උපකරණ සහ විශේෂ අධ්‍යාපනය සම්න්ධ ගුරවරුන්ගේ හිඟය හේතුවෙන් මේ වන විටත් ආබාධ සහිත දරුවන් වක්‍රාකාරයෙන් අධ්‍යාපන ක්‍රමය තුළින් දුරස් කෙරෙමින් පවතී.
ශ්‍රම බලකායට සම්බන්ධ වීමේදී, 1988 වර්ෂයේ දී සම්පාදිත නීති ප්‍රකාරව රාජ්‍ය සේවයේ වෘත්තීය අවස්ථාවලින් 3%ක් ආබාධ සහිත පුද්ගලයින්ට ලබා දිය යුතු වේ. අවාසනාවන්ත ලෙස, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සබැඳි ජාතික ප්‍රතිපත්තිය අනුව, මෙම ප්‍රතිශතය ආරක්ෂා කිරීම දරුණු ලෙස බිඳ දමා ඇත.
4. දේශපාලනික හා පොදුජන ජීවිතය සඳහා සහභාගි වීමේ අයිතිය
ආබාධ සහිත පුද්ගලයින්ට දේශපාලනික හා පොදුජන ජීවිතය සඳහා සහභාගි වීමට ඇති අයිතිය ස්ථිර කෙරෙන බව CRPD ප්‍රඥාප්තිය සඳහන් කොට ඇත. (29 වගන්තිය, CRPD ප්‍රඥාප්තිය).
ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයින්ට දේශපාලනයෙහි නිරත වීමට කිසිදු නෛතික බාධාවක් නැත. කෙසේ නමුත්, එවැන්නන්ට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමෙහි අවස්ථාව දේශපාලන ක්‍රමය හා ඡන්ද ක්‍රමයන් විසින් වක්‍රාකාරව අවහිර කොට ඇත. මෙම වක්‍ර අවහිර කිරීම් අතරට ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමේ අපහසුව, විශාල අකුරු සහිත ඡන්ද පත්‍රිකා නොවීම සහ පුහුණු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් නොවීම ආදිය ඇතුළත් ය.
එබැවින්, ඉහත විශ්ලේෂණය අනුව, ශ්‍රී ලංකාවේ නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව CRPD ප්‍රඥාප්තියේ අවශ්‍යතා පූරණය කිරීමට අසමත්ව ඇති බව පැහැදිලි ය. මෙම සංදර්භය අනුව, විශේෂ අවශ්‍යතා සහිත (ආබාධ සහිත) පුද්ගලයින් සඳහා වන අයිතීන් සුරක්ෂිත කරමින් ජාත්‍යන්තරය හා බැඳීම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කිරීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.