over 7 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

 

 

2015 ජනවාරි 09 වැනි දින ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේ ය. ජනපති සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරය දිවෙන ලද්දේ කෙටිකාලීන සහන වැඩසටහන් සහ දිගුකාලීන ව්‍යුහමය වෙනස්කම් පිළිබඳ පොරොන්දු රැගත් දින සියයේ වැඩ පිළිවෙල පදනම්ව ය. මෙම පොරොන්දු ජනපතිවරයා පත් වී දින සියයක් ඇතුළත ඉෂ්ඨ කෙරෙන්නට නියමිත විය. ඒ අතුරින් බොහෝ පොරොන්දු ඉටු වී ඇතත්, දින 730කට පසුව ද, තවමත් ප්‍රධාන පොරොන්දු කිහිපයක්ම ඉටු නොවී ඉතිරිව ඇත. 

 

වෙරිටේ රීසර්ච් ආයතනය මෙහෙයවන පාර්ලිමේන්තු විමර්ෂණ වේදිකාවක් වන Manthri.lk හි එක් අංගයක් වන මෛත්‍රි මිටරය ,දින සියයේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය ‘ලකුණු සියය බැගින්’ ලබා දීමේ ක්‍රමයක් යටතේ ඇගයීමට ලක් කොට ඇත. දින සියය තුළ ලකුණු 50කටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියද ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ පිළිබඳ පනත වැනි බොහෝ පොරොන්දු මූලික වශයෙන් පූරණය කෙරෙමින් පැවතීම හේතුවෙන් දැන් එහි සමස්ථ ලකුණු සංඛ්‍යාව 71 දක්වා ඉහළ නැග ඇත.  

 

ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රධානතම පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම (19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අර්ධ වශයෙන් ආමන්ත්‍රණය කර ඇති) ඇතුළු ඇතැම් පොරොන්දු  ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අවධානයට ලක් වෙමින් පවතී. එසේ වුවත්, ප්‍රධාන මූලික පොරොන්දු දෙකක් වන, ජාතික විගණන පනත හඳුන්වා දීම සහ පිළිගත් ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දීම පැහැදිලි ප්‍රමාදයක් පෙන්වා ඇත. 

 

ජනාධිපති සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, රාජ්‍ය ගිණුම් හා මුල්‍ය භාවිතාවේ ක්‍රමවේදය පිළිබඳ විවෘතභාවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ජාතික විගණන පනත හඳුන්වා දීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි මස 19 වැනිදා ය. ඊට අමතරව, එම පනත හඳුන්වා දීම ජාතික සන්ධාන රජයේ ප්‍රධාන පාර්ලිමේන්තු හවුල් පක්ෂ කණ්ඩායම් දෙකෙහිම (යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය) මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු අතර වූවකි. කෙසේ වෙතත්, මෙහි ප්‍රගතිය කැබිනට් මණ්ඩලය විසින් කෙටුම්පත අනුමත කරනු ලැබීම දක්වා පමණක් සීමා වී ඇත. ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නීතියෙන් බලාත්මක ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවට ද සදහන් ව තිබිණ. දිගු ප්‍රමාදයකින් පසු, ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියෙහි’ අවසන් කෙටුම්පත, පාර්ලිමේන්තු අනුමැතිය සඳහා කථානායක කරු ජයසූරිය විසින් 2016 දෙසැම්බර් මස 10 වැනි දින සභාගත කරනු ලැබිණ. එසේ වුවත්, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ කෙටුම්පත ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහතික කිරීම සීමා වී ඇත.  මෙය මුලින්ම හඳුන්වා දීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි මස 02 වැනිදා  ය.

 

මෙම අඩුපාඩුකම් මධ්‍යයේ වුවත්, අ) තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හඳුන්වාදීම ආ) ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම ඇ) ව්‍යවස්ථා සභා සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දීම වැනි ක්‍රියාකාරකම් හරහා සැළකිය යුතු ප්‍රගතියක් දින සියයේ වැඩපිළිවෙල හිමි කරගෙන ඇත. සාර්ථකත්වයන් අතරින් 2016 ජූනි මස 24වැනි දින තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ස්ථාපනය කිරීමත් සුවිශේෂ ය. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ අභිලාෂයෙන් ඉදිරිපත් වූ මෙම පනත විනිවිදභාවය හා වගකීම්සහගතභාවය ඉහළ නංවන ක්‍රියාදාමයකි.

 

 

සමස්ථයක් වශයෙන් ගත් විට, දැන් බොහෝ කාලයක් ගත වී ඇති දින සියයේ වැඩපිළිවෙළ අවසානය වෙත ළඟා වීම සාධක දෙකක් මත රඳා පවතින බව පෙනේ. පළමුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය සමග දැඩිව බැඳී පවතී. දෙවනුව, ජනාධිපති සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සදහන්ව වසර දෙකක් තිස්සේ ක්‍රියාවට නංවන තෙක් පවතින, සරල නමුත් ඉහළ වැදගත්කමකින් යුතු ‘යහපාලන’ පොරොන්දු යටතේ ක්‍රියාවට නැංවිය හැකි; (ජාතික විගණන පනත හරහා) ජාතික විගණන කොමිසම සහ නීතිමය වශයෙන් බලාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය හරහා ප්‍රගතිය ළඟා කර ගත හැකිව පවතී.